ගොං කැකිරි (Mukia maderaspatana)


ගොං කැකිරි (Mukia maderaspatana)


[කුකර්බිටේසියේ පවුලේ සාමාජික ශාක හඳුනා ගැනීමේ දී විවිධ සංකීර්ණතාවලට මුහුණු දීමට උද්භිද විද්‍යාඥයින්ට මෙන්ම දේශීය වෛද්‍යවරුන්ට සිදුවේ. ඒ සමාන ලක්ෂණ ඇති ශාක පන්ති පන්ති සමීපස්ථ හැඩහුරුකමින් පෙනී සිටීම නිසා ශාකමය ඖෂධ නිෂ්පාදනය කරන්නන්ට අභියෝගාත්මක බවක් ඇති කරවීම නිසාය. ඒ නිසා අවසාන පියවර ලෙස සිදුවන්නේ විද්‍යාගාරවල තැන්පත් නිදර්ශක ඇසුරින් හඳුනා ගැනීමේ සංකීර්ණ පියවරට මුහුණ දීමට සිදුවීමයි. පොදුවේ ගත් කළ අද සමාජයේ ශාක නිවැරදිව හැඳින්වීමට සමත් පුද්ගලයින් සංඛ්‍යාව බෙහෙවින් කුඩා එකකි. මේ මුකියා මැඩරස්පටානා නමින් වර්ග වී ඇති වර්තමානයේ ගොං කැකිරි, ලේන කැකිරි, හීන් කැකිරි යන නම්වලින් හඳුන්වන ශාකය පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක් ඇසුරින් ලියැවෙන සටහනකි.]
෴ඉංග්‍රීසි බෙහෙත් (ඇලපති වෛද්‍ය විද්‍යාව) ලබා ගැනීමට යහමින් මුදල් වියදම් කිරීමට නොහැකි සමාජවල මෙම ශාකය තවමත් ඖෂධයක් ලෙසත් එළවළුවක් ලෙසත් භාවිත වේ. මෙම වැල් ශාකයේ ඵලය එළවළුවක් ලෙස ලබා ගැනීමට වගා කෙරෙන්නේ අර්ධ වගා බෝගයක් ලෙසිනි. එනම්, ඉබේට වාගේ වැවෙන ශාකයක ගෙඩි ලෙසිනි. ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය, තායිවානය, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අප්‍රිකාව යන රටවල මේ ශාකය වැඩේ. මෙම ශාකයේ පත්‍ර මදක් ළපටි කාලයේ ගෙන ආහාර ලෙස තෝසෙ මිශ්‍රණයට එක් කෙරේ. මැඩරස්පටානා ශාකයේ කොටස් ඖෂධ ලෙස භාවිතයට ගැනීම අවුරුදු තුන් දහසක් කල් සිට කෙරෙන්නකැයි කියවේ. එය සිද්ධ සහ ආයූර්වේද ක්‍රම දෙකෙහිම දක්නට ලැබෙන්නකි. පත්‍ර සහ දඬු කැබලි යුෂය සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ කැස්ස සඳහා අනගි ඖෂධයක් වේ. විශේෂයෙන් කහ උණ හෙවත් සෙංගමාලය සුවපත් කරන ඔසුවක් ලෙස මෙම ඵලයේ සාරය යොදා ගැනෙයි. එය මූත්‍රකාරක ඔසුවකි. එය විටමින් සී සහ ඊ බහුල ලෙස ඇති සාරයක් බැවින් නිතර ආහාරයට එක් කර ගැනීමේ වරදක් නැත. හිසකේ පැසීම, මඳ සාඵල්‍යතාව, මන්ද පෝෂණය වැනි බෝ නොවන එහෙත් නිදන්ගත නොවන රෝග සඳහා මෙය අනගි විසඳුමකැයි කියනු ලැබේ. එයින් ප්‍රතිශක්තිය වඩවාලයි. මේ පත්‍රසාරය තේ වෙනුවට ගැනීම යෝග්‍ය වේ. එය ඇදුම රෝගයෙන් පීඩා විඳින රෝගීන් සඳහා වෛද්‍ය උපදෙස් නැතිව වුවද ගත හැකි පානයකි. ඉන් ඇදුම රෝගයේ අහිතකර රෝග ලක්ෂණ පාලනය වී යයි ෴
කෙසේ වෙතත් දේශීය ගැමි ව්‍යවහාරයෙහි මෙම වැල් වර්ගය ගොංකැකිරි ලෙස හැඳින්වුවද වෙදකමට සම්බන්ධ ආයුර්වේද මූලාශ්‍රවල ගොං කැකිරි ලෙස හඳුන්වන්නේ වෙනත් වැල් වර්ග දෙකකි. ඖෂධීය ශාක සංග්‍රහයෙහි Cucumis melo යන උද්භිද නාමයෙන් හඳුන්වන කුඩා ගෝලාකාර ගෙඩි හැදෙන වැල් වර්ගය ගොං කැකිරි, යක් කොමඩු සහ තිත්ත කොමඩු නමින් හඳුන්වයි. ඊට අමතරව ආයුර්වේද ඖෂධ සංග්‍රහයෙහි Citrullus colocynthis යන උද්භිද නාමයෙන් හඳුන්වන කොමඩු වැනි විශාල ගෙඩි හැදෙන දේශීය වැල් වර්ගය ගොං කැකිරි ඉන්ද්‍රචාරුණී, යක් කොමඩු සහ තිත්ත කොමඩු සහ තිත්ත කැකිරි ලෙස හඳුන්වා තිබේ. එම නිසා ගොං කැකිරි ලෙස සඳහන් ඖෂධ වට්ටොරුවක් වෙනුවෙන් බෙහෙතට ගත්යුත්තේ කුමන ශාකය දැයි යන්න ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ය.෴

Comments

Popular posts from this blog

කිරි අඟුණ, තිත්ත අඟුණ, කුරිඤ්ඤං සහ කංකුඹල